පොලිස් භාරයේදී තරුණයෙක් මියයාමේ සිදුවීමට අදාළව හෝමාගම HQIගේ වැඩ තහනම්
පොලිස් භාරයේ සිටියදී තරුණයෙකු මියයෑමේ සිද්ධියට අදාළව හෝමාගම මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයාගේ වැඩ තහනම් කර තිබෙනවා.
ඒ මෙම සිද්ධිය සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණයක් සිදු කරන ලෙස මහජන ආරක්ෂක අමාත්‍යවරයා, පොලිස්පතිවරයාට කර තිබූ දැනුම් දීමකට අනුවයි.
මීට පෙර මෙම සිද්ධියට අදාළව හෝමාගම පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයාගේ, දූෂණ මර්දන වැටලීම් එකකයේ ස්ථානාධිපති ලෙස කටයුතු කරන උප පොලිස් පරීක්ෂකවරයෙකුගේ සහ පොලිස් සැරයන්වරයෙකුගේ වැඩ තහනම් කර තිබුණා.
එම සිදුවීමට අදාළව හෝමාගම පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා ද ඊයේ (28)අත්අඩංගුවට ගනු ලැබුවා.
මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 490ක් සන්තකයේ තබා ගැනීමේ චෝදනාව මත හෝමාගම පොලිසිය විසින් අත්අඩංගුවට ගත් ඉෂාර හර්ෂ කුමාර නම් තරුණයෙකු මියයාමේ සිදුවීම වාර්තා වුණේ පසුගිය 25 වැනිදායි.
ඔහුගේ ඥාතීන් චෝදනා කළේ පොලිස් නිලධාරීන්ගේ පහරදීම හේතුවෙන් මෙම මරණය සිදු වූ බවටයි.
මියගිය තරුණයාගේ පශ්චාත් මරණ පරීක්ෂණ පැවැති අතර, වැඩිදුර විමර්ශන සඳහා සිරුරු කොටස් රජයේ රස පරීක්ෂක වෙත යැවීමටත් කටයුතු
කෙරුණා.
සිද්ධිය සම්බන්ධයෙන් කඩිනම් සහ ස්වාධීන පරීක්ෂණයක් කරන ලෙස, මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පොලිස්පතිවරයාට දන්වා තිබූ අතර ඒ අනුව හෝමාගම පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් තිදෙනෙකුගේ වැඩ තහනම් කිරීමටද කටයුතු කෙරුණා.
මේ අතර මෙම මරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය ද නිවේදනයක් නිකුත් කරමින් සිය කණස්සල්ල පළ කර තිබුණා .
අදාළ තරුණයාට දැඩි ලෙස පහර දී ඇති බව පෙනීයන ශාරීරික තුවාල නිරීක්ෂණය කළ බවට ඔහුගේ පවුලේ සාමාජිකයින් ප්‍රකාශ කළද, පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා විසින් ඊට පටහැනිව ප්‍රකාශයක් නිකුත් කර ඇති බව යි ශ්‍රී ලංකා නීතිඥ සංගමය සිය නිවේදනයෙන් පෙන්වා දී ඇත්තේ .
මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක ,සහකාර පොලිස් අධිකාරි එෆ්. යූ . වුට්ලර් සඳහන් කළේ ශ්‍රී ලංකා නීතිඥ සංගමය නිකුත් කල නිවේදනයේ සඳහන් පරිදි තමන් කිසිදු අවස්ථාවක එවැනි ප්‍රකාශයක් සිදුකර නොමැති බවයි.
එබැවින් ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ ප්‍රකාශය තරයේ ප්‍රතික්ෂේප කරන බවත් ඒ පිළිබඳ තමා කණගාටුවට පත්වන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.
මියගිය ඉෂාර හර්ෂ කුමාර ගේ දේහය පෙරේදා රාත්‍රියේ හෝමාගම මූණමලේවත්ත ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසට රැගෙන ආවා.