නවතම

මැදපෙරදිග අර්බුදය හමුවේ චීන ආර්ථික වර්ධන වේගය පහළට

මැදපෙරදිග පවතින ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන් බලශක්ති මිල ඉහළ යෑම සහ දේශීය පරිභෝජන වියදම් පහත වැටීම හමුවේ, මේ වසර සඳහා චීනයේ ආර්ථික වර්ධන පුරෝකථනය සියයට 4.5 දක්වා පහත හෙළීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පියවර ගෙන තිබෙනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් නිකුත් කරන ලද නවතම 'ලෝක ආර්ථික දැක්ම' වාර්තාවේ මෙම නව සංශෝධනය ඇතුළත් වන අතර, එය පසුගිය ජූලි මාසයේදී නිකුත් කළ පුරෝකථනයට වඩා සුළු පහත වැටීමක්.

ලොව දෙවන විශාලතම ආර්ථිකයට හිමිකම් කියන චීනයේ ආර්ථික වර්ධනය 2027 වසර වන විට සියයට 4.0 දක්වා තවදුරටත් මන්දගාමී වනු ඇතැයි අරමුදල පවසන අතර, එය ද පූර්ව පුරෝකථනයට වඩා ප්‍රතිශත ලක්ෂ්‍ය 0.1 ක පහත බැසීමක්.

ලෝක වෙළඳපොළේ ඉහළ යන බොරතෙල් මිල, දිගුකාලීන අවිනිශ්චිතතාවය සහ ව්‍යුහාත්මක අභියෝග හමුවේ ඉදිරියේදී ආර්ථික කටයුතුවලට බාධා එල්ල වනු ඇතැයි අපේක්ෂා කරන බව පෙන්වා දෙන IMF වාර්තාව චීන රජය විසින් ලබාදෙන ප්‍රතිපත්තිමය සහය හේතුවෙන් ආර්ථිකය දැඩි ලෙස කඩාවැටීම වැළැක්වෙනු ඇති බව ද පෙන්වා දෙනවා.

චීනයේ වර්ධනය පිළිබඳ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මෙම නවතම පුරෝකථනය, මේ වසර සඳහා බීජිං පාලනය තබා ඇති සියයට 4.5 ත් 5.0 ත් අතර නිල වර්ධන ඉලක්කයේ පහළම සීමාව වන අතර, එය දශක ගණනාවකට පසු වාර්තා වූ අඩුම අගයයි.

චීනයේ වරක් ශීඝ්‍රයෙන් වර්ධනය වූ දේපළ වෙළඳපොළ ක්ෂේත්‍රයේ වසර ගණනාවක් පුරා පවතින අර්බුදය හමුවේ පාරිභෝගිකයින් බියට පත්ව සිටින අතර, අපනයන මෙන්ම කෘතිම බුද්ධිය සහ විදුලි වාහන වැනි අධිතාක්ෂණික ක්ෂේත්‍රවල පිබිදීමක් පැවතුණ ද දේශීය ආර්ථික කටයුතු මන්දගාමී වී තිබෙනවා.

මීට හාත්පසින්ම වෙනස්ව, මෙම IMF වාර්තාව මගින් ඉන්දියාවේ මේ වසරේ ආර්ථික වර්ධන පුරෝකථනය ප්‍රතිශත ලක්ෂ්‍ය 0.6 කින් සැලකිය යුතු ලෙස ඉහළ නංවා ඇති අතර, එහි වර්ධනය සියයට 7.0 දක්වා ළඟා වනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.

මෙම වර්ධනය මගින් "වාසිදායක ජනගහන විවිධත්වය, විශාල හා පුළුල් වන දේශීය වෙළඳපොළ සහ ඉදිරියටම යන ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ මගින් සහාය ලබන ශක්තිමත් ආර්ථික වර්ධන ශක්‍යතාව මනාව පැහැදිලි වන බව වාර්තාවේ වැඩිදුරටත් සඳහන්.