නවතම

2026 ආසියානු පැරා ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාවට තවත් රන් පදක්කම් දෙකක් !

ජපානයේ අයිචි-නගෝයා (Aichi-Nagoya) හිදී පැවැත්වෙන 2026 ආසියානු පැරා ක්‍රීඩා උළෙලේදී (Asian Para Games 2026) ශ්‍රී ලංකාවට තවත් රන් පදක්කම් දෙකක් එක්කරමින් ජාත්‍යන්තර මලල ක්‍රීඩා පිටියේ ශ්‍රී ලංකා නාමය බැබළවීමට ජනනි ධනංජනා වික්‍රමසිංහ සහ ප්‍රදීප් සෝමසිරි සමත් වී තිබේ.

කාන්තා දුර පැනීම (T47) ඉසව්වට එක්වූ ජනනි ධනංජනා වික්‍රමසිංහ මීටර් 5.52 ක දුරක් පනිමින් නව තරග වාර්තාවක් ද සහිතව රන් පදක්කම දිනා ගැනීමට සමත් වූවාය. තරගය පුරාම ඉහළ දක්ෂතාවයක් පෙන්නුම් කළ ඇයගේ මෙම විශිෂ්ට ජයග්‍රහණයත් සමග මෙවර තරගාවලියේ ශ්‍රී ලංකාවේ පදක්කම් ලැයිස්තුව තවදුරටත් ශක්තිමත් විය.

මේ අතර, පිරිමි මීටර් 1,500 (T46) ධාවන ඉසව්ව නියෝජනය කළ ප්‍රදීප් සෝමසිරි අද (23) ශ්‍රී ලංකාව වෙනුවෙන් අනෙක් රන් පදක්කම හිමිකර ගැනීමට සමත් විය. තරගය ආරම්භයේ සිටම ප්‍රබල ආසියානු ක්‍රීඩකයින් පරාජය කරමින් ඉහළ තරගකාරීත්වයක් පෙන්නුම් කළ ඔහු ප්‍රථම ස්ථානය දිනාගත් අතර, මෙම ඉසව්වේ දෙවැනි ස්ථානය ඉන්දියාවටත්, තෙවැනි ස්ථානය පිලිපීනයටත් හිමි විය.