සමාජ මාධ්‍යවලට ඇබ්බැහි වීමෙන් මානසික සෞඛ්‍ය ගැටලුවලට මුහුණ පෑ යොවුන් දැරියකගේ නඩුව බේරුම් කර ගැනීමට මෙටා (Meta) සමාගම එකඟ වෙයි!
ඉන්ස්ටග්‍රෑම් (Instagram) සහ ෆේස්බුක් (Facebook) පරිශීලකයන් ඒවාට ඇබ්බැහි වන අයුරින් සැලසුම් කිරීම හේතුවෙන් තමන් මානසික සෞඛ්‍ය ගැටලුවලට මෙන්ම ආහාර ගැනීමේ අක්රමිකතාවලට (disordered eating) ගොදුරු වූ බවට චෝදනා කරමින් යොවුන් දැරියක විසින් ගොනු කරන ලද නඩුවක් අධිකරණයෙන් පරිබාහිරව සමථයකට පත් කර ගැනීමට (settlement) Meta සමාගම සිකුරාදා දින එකඟතාවයකට පැමිණ තිබේ.
මෙම නඩු විභාගය සඳහා බදාදා දිනයේදී ජූරි සභිකයන් තෝරා ගැනීම ආරම්භ වීමෙන් අනතුරුව මෙම එකඟතාව ඇති විය. S.J. සහ K.D.B. යන කෙටි නම්වලින් හඳුන්වන ලද යොවුන් දැරියන් දෙදෙනෙකු විසින් Meta සමාගමට සහ Snapchat හි මව් සමාගම වන Snap Inc ආයතනයට එරෙහිව මෙම නඩුව පවරා තිබුණි. නඩු විභාගයට දින කිහිපයකට පෙර Meta සමාගම S.J. සමඟ සමථයකට පත්වූ අතර, සිකුරාදා K.D.B. සමඟද එකඟතාවකට පැමිණීමත් සමග මෙම නඩු විභාගය ඉදිරියට ක්‍රියාත්මක වන්නේ Snap සමාගමට එරෙහිව පමණි."සමාජ මාධ්‍ය හරහා දරුවන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමටත්, තාක්ෂණික සමාගම් නීතිය හමුවේ වගකීම් සහගත කිරීමටත් අප නිරන්තරයෙන් කැපවී සිටිනවා. අපගේ සේවාදායකයා වෙනුවෙන් මෙම ගැටලුවට සාධාරණ විසඳුමක් ලබා ගැනීමට හැකිවීම සතුටක්," යැයි K.D.B. වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරියක වන එමිලි ජෙෆ්කොට් (Emily Jeffcott) ප්‍රකාශ කළාය.
මේ පිළිබඳව අදහස් දක්වමින් Meta සමාගමේ ප්‍රකාශකයෙකු පැවසුවේ, මෙවැනි නඩු විභාගයන්, ප්‍රතික්ෂේප කිරීම් හෝ සමථයන් යනු මෙවැනි නීතිමය ක්‍රියාවලියක සාමාන්‍ය කොටසක් බවයි. දශකයකට වැඩි කාලයක් තිස්සේ පරිශීලක ආරක්ෂාව වෙනුවෙන් මෙවලම් නිර්මාණය කර ඇති බැවින්, අධිකරණය හමුවේ තමන් දිගටම පෙනී සිටින බව ඔහු අවධාරණය කළේය.
තරුණ පරපුර සමාජ මාධ්‍යවලට ඇබ්බැහි කරවීමේ චෝදනා
මෙම නඩුව සමාන චෝදනා සහිත තවත් දහස් ගණනක් නඩු අතරින් ප්‍රධාන පරීක්ෂණ නඩුවක් (test case) ලෙස තෝරාගෙන තිබූ බැවින්, එහි තීන්දුව අනෙකුත් නඩුවලට ද තීරණාත්මක බලපෑමක් එල්ල කිරීමට නියමිතව තිබුණි.
ඉලිනොයිස් හි 16 හැවිරිදි S.J. සහ මිසිසිපි හි 18 හැවිරිදි K.D.B. ප්‍රකාශ කළේ, තමන් වයස අවුරුදු 3 තරම් කුඩා කල සිටම YouTube භාවිත කළ බවත්, වයස අවුරුදු 9 වන විට අනෙකුත් සමාජ මාධ්‍ය භාවිතයට ඇබ්බැහි වූ බවත්ය. වීඩියෝ ස්වයංක්‍රීයව ධාවනය වීම (autoplay) සහ නිමාවක් නැතිව පහළට scroll කිරීමේ (infinite scroll) විශේෂාංග මීට ප්‍රධාන වශයෙන් හේතු වූ බව ඔවුන් චෝදනා කරයි.
කෙසේ වෙතත්, තමන් එවැනි ඇබ්බැහි කරවන අයුරින් පද්ධති සකස් කළ බවට එල්ල වන චෝදනා තාක්ෂණික සමාගම් ප්‍රතික්ෂේප කර ඇති අතර, තරුණ පරපුරට ආරක්ෂිතව අදහස් ප්‍රකාශ කළ හැකි පරිසරයක් නිර්මාණය කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන ඇති බව ඔවුන් කියා සිටී.
තාක්ෂණික සමාගම් හමුවේ ගොඩගැසෙන නඩු
පසුගිය මාර්තු මාසයේ අවසන් වූ මෙවැනි පළමු නඩුවේදී, ලොස් ඇන්ජලීස් ජූරි සභාව විසින් Meta සහ YouTube ආයතන වරදකරුවන් කරමින් තරුණියකට ඇමෙරිකානු ඩොලර් මිලියන 6ක වන්දි මුදලක් ගෙවීමට නියෝග කරන ලදී.
පසුගිය අගෝස්තු මාසයේදී, නව යොවුන් වියේ පසුවන්නන්ට සිදුවන හානිය සම්බන්ධයෙන් ප්‍රාන්ත අටෝර්නි ජනරාල්වරුන් විසින් පවරන ලද නඩු විසඳා ගැනීම සඳහා ඇමෙරිකාවේ ප්‍රාන්ත රැසක් සමඟ ඩොලර් බිලියන 18ක් දක්වා වූ දැවැන්ත එකඟතාවකට පැමිණීමට Meta සමාගමට සිදුවිය.
මීට අමතරව, ෆේස්බුක් පරිශීලක දත්ත සහ ද්වේෂසහගත ප්‍රකාශ පාලනය පිළිබඳව මහජනතාව නොමග යැවීම සම්බන්ධයෙන් නිව් මෙක්සිකෝ ප්‍රාන්ත අධිකරණයක් විසින් Meta සමාගමට ඩොලර් බිලියන 25ක ඓතිහාසික දඩයක් ද නියම කරන ලදී.
