2025-2026 වත්කම් හා බැරකම් ප්‍රකාශ: ජනපති, අගමැති, කතානායක, විපක්ෂ නායකගේ වත්කම්වල වෙනස් වී ඇත්තේ මොනවා ද?

2023 අංක 9 දරන දූෂණ විරෝධී පනත අනුව, ජනාධිපතිවරයා ඇතුළු වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දිය යුතු පුද්ගලයන්ගේ වත්කම් හා බැරකම් ප්‍රකාශ මහජනතාවගේ දැනගැනීම සඳහා මේ වන විට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ වෙබ් අඩවියේ පළ කර තිබේ.
අදාළ පනත ප්‍රකාරව, වර්තමාන රජය බලයට පත් වීමෙන් පසුව වත්කම් හා බැරකම් ප්‍රකාශ ප්‍රසිද්ධියට පත් කළ දෙවැනි අවස්ථාව මෙයයි.
ජනාධිපතිවරයාගේ වාහනයට සිදු වුණේ කුමක් ද?
ජනාධිපතිවරයාගේ සහ ඔහුගේ පවුලේ සාමාජිකයන්ගේ මේ වසරේ වත්කම් සහ බැරකම් ප්‍රකාශය සහ පසුගිය වසරේ ප්‍රකාශය නිරීක්ෂණය කිරීමේදී විශාල වෙනස්කම් නිරීක්ෂණය කළ නොහැකි වුව ද යම් යම් වෙනස්කම් නිරීක්ෂණය කළ හැකි ය.
එහි දැක්වෙන්නේ ජනාධිපතිවරයාගේ එකම අදායම් මාර්ගය ජනාධිපති වැටුප පමණක් බවයි. ඉන් ලැබෙන වාර්ෂික ආදයම සියලු දීමනා සමග රුපියල් තිස් ලක්ෂ අසූ එක්දහස් හයසිය විසිහතරකි.
ජනාධිපතිවරයාගේ බිරිඳ හෝ පුත්‍රයා මෙම කාලසීමාවට අදාළව කිසිඳු ආදායමක් උපයා නොමැති බවට එම ප්‍රකාශයේ සඳහන් වෙයි.
මෙම ප්‍රකාශය ලබා දෙන අවස්ථාව වන විට ජනාධිපතිවරයාගේ පුත්‍රයාගේ අත ඇති මුදල රු. 5,000ක් වන මෙම සඳහන් වන අතර ඔහුගේ බැංකු ගිණුමේ ඇත්තේ රු. 2,500ක ශේෂයකි.
ජනාධිපතිවරයාගේ බිරිඳගේ බැංකු ගිණුමක රු. 321,888ක ශේෂයක් ඇති අතර, අත තිබූ මුදල රු. 35,000ක් ලෙස සඳහන් කර තිබේ.
පසුගිය වසරේ වත්කම් සහ බැරකම් ප්‍රකාශයේ ජනාධිපතිවරයාගේ බිරිඳට අයත් ඉඩම් කට්ටිය සහ නිවසේ වටිනාකම රු. මිලියන 40ක් ලෙස සඳහන් කර තිබූ අතර, නව වත්කම් සහ බැරකම් ප්‍රකාශයේ සඳහන් වන්නේ ඔප්පුවේ සඳහන් වටිනකාම බැවින් එම ඔප්පුවේ සඳහන් 2006 වසරේ දිනය අනුව මෙම දේපළෙහි වටිනාකම ලෙස සඳහන්ව ඇත්තේ රු. ලක්ෂ 5ක් ලෙසයි.
පසුගිය වසරේ ප්‍රකාශයට සාපේක්ෂව මෙම වසරේ ප්‍රකාශයේ සිදුව ඇති විශාලතම වෙනස්කම වන්නේ පසුගිය ප්‍රකාශයට අනුව ජනාධිපතිවරයා සතුව තිබූ 2017 වර්ෂයේ මිලට ගත් රු. මිලියන 15ක වටිනාකමකින් යුත් ටොයෝටා හයිලක්ස් රථය නව වත්කම් බැරකම් ප්‍රකාශයේ සඳහන්ව නොතිබීම යි.
එම රථය වෙනත් අයෙකුට අලෙවි කළේ ද, එසේත් නැතිනම් පැවරීමක් සිදු කළේ ද යන්න පැහැදිලි නැත.
ඒ සම්බන්ධයෙන් කිසිදු සඳහනක් මෙම වත්කම් හා බැරකම් ප්‍රකාශයේ සඳහන් නොවන අතර, ජනාධිපතිවරයාගේ ගිණුම්වල ද එවැනි ආකාරයේ විශාල මුදලක් ඇති බවට නිරීක්ෂණය නොවේ.
එමෙන්ම ජනාධිපතිවරයාගේ නමින් කිසිදු ණය මුදල් හෝ වෙනත් මුල්‍යමය වගකීම් කිසිවක් සඳහන්ව නොමැත.
අගමැතිවරියගේ වත්කම්
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ වත්කම් සහ බැරකම් ප්‍රකාශවල ද විශාල වෙනස්කම් සිදුව නොමැති නමුත් පසුගිය ප්‍රකාශයේ දක්වා තිබූ ආභරණවල වටිනාකම, මෙම නව ආකෘතිය යටතේ සඳහන් කර නොමැති අතර, ඒවායේ බර ද සඳහන්ව නොමැත.
2025 ප්‍රකාශයට අනුව පවුලේ උරුමයෙන් හිමිව ඇති ආභරණවල වටිනාකම ආසන්න වශයෙන් රු. මිලියන 4ක් පමණ වන බව දක්වා තිබිණි.
එමෙන් ම ඇය සතුව ඇති පවුලේ උරුමයෙන් හිමිව ඇති කලා කෘති සහ පෞරාණික ගෘහ භාණ්ඩවල වටිනාකමේ එකතුව ද රු. මිලියන 3කට ආසන්න බව 2025 වාර්තාවේ දක්වා ඇත.
2025 වසරේ වත්කම් හා බැරකම් ප්‍රකාශයට අනුව ඇය සතුව මූල්‍යමය වත්කම් සහ ස්ථිර තැන්පතු ආදියෙහි වටිනාකමේ එකතුව රු. මිලියන 11කට ආසන්න විය.
2026 වසරේ ප්‍රකාශයේ සඳහන් වන ආකාරයට ශ්‍රී ලංකා රු. මිලියන 12.5කට ආසන්න තැන්පතු සහ ස්ථිර තැන්පතු ඇය සතුව තිබේ.
2025දී ඇය සතුව ඇමරිකානු ඩොලර් 500ක මුදලක් තිබූ බවට සඳහන් වන අතර, 2026 ප්රකාශයේදී ඇයගේ ගිණුම්වල පවුම් 360ක් ද, ඇමෙරිකානු ඩොලර් 400ක් ද, ඔස්ට්‍රේලියානු ඩොලර් 200ක් ද ඇති බවට සඳහන් වේ.
කතානායකවරයාගේ ඩිජිටල් මුදල් වත්කම් අඩු වෙයි
කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්නගේ පසුගිය වසරේ වත්කම් හා බැරකම් ප්‍රකාශය නිරීක්ෂණය කිරීමේදී ඔහුට අමතරව ඔහුගෙන් යැපෙන අනෙකුත් පවුලේ සාමාජිකයන්ගෙන් එක් අයෙකු පිළිබඳ විස්තර මෙවර ප්රකාශනයෙන් ඉවත්ව ඇති බව පෙනී යන අතර, ඔස්ට්‍රේලියානු ඩොලර් 4,500ක වටිනාකමකින් යුත් ඔහුගේ පවුලේ සාමාජිකයෙකුට අයත්ව තිබූ මෝටර් රථය මෙම වසරේ ප්‍රකාශයට ඇතුළත්ව නොමැති බවත් නිරීක්ෂණය කළ හැකි ය.
විදෙස්ගත මිතුරෙකු ඔහුට ත්‍යාගයක් ලෙස ලබා දෙන ලදුව කතානායකවරයා සතුව පසුගිය වසරේ තිබූ බයිනෑන්ස්හි ආයෝජනය කරන ලද (ඩිජිටල් මුදල්) USDT 1,850 මේ වසරේදී USDT 1,050ක් දක්වා අඩුවී ඇත.
මීට අමතරව පසුගිය වසරේ ඔහුගේ ප්‍රකාශයේ සඳහන් නොවූ මහජන බැංකුවෙන් ලබා ගත් රු. මිලියන 4ක පුද්ගලික ණය මුදලක් ද නව ප්‍රකාශයේ සඳහන්ව තිබේ.
එමෙන් ම, දැනට ඔස්ට්‍රේලියාවේ වාසය කරන කතානායකවරයාගේ දරුවෙකුගේ ඔස්ට්‍රේලියානු ඩොලර් 7,400ක් ඇති ඉතුරුම් ගිණුමක් ද මෙම නව ප්‍රකාශයට ඇතුළත් කර තිබේ.
විපක්ෂනායකවරයාගේ ණය බර
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ වත්කම් හා බැරකම් ප්‍රකාශයේ ද ඔහුගේ වත්කම්වල සැලකිය යුතු මට්ටමේ වෙනසක් සිදුව නොමැති නමුත් 2025දී ඔහු සතුව තිබූ මිලියන 29.6ක මූල්‍යමය වත්කම් රු. මිලියන 23.5ක් දක්වා අඩු වී තිබේ.
කෙසේවෙතත් පසුගිය වත්කම් සහ බැරකම් ප්‍රකාශයේ සඳහන්ව තිබූ විපක්ෂනායකවරයාගේ මූල්‍යමය වගකීම් සම්බන්ධයෙන් වඩාත් පැහැදිලි තොරතුරු නව වත්කම් හා බැරකම් ප්‍රකාශයේ සඳහන්ව තිබේ.
පසුගිය වසරේ ඔහුගේ එවැනි වගකීම් 20ක් සම්බන්ධයෙන් සඳහන්ව තිබූ අතර ඒවා ලබා ගත් මූලාශ්‍රය දැක්වෙන විස්තර තීරුව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් වසා දමා තිබිණි.
නමුත් නව ප්‍රකාශයේ මූලාශ්‍රය සම්බන්ධයෙන් තොරතුරු හෙළිදරව් කර තිබේ.
ඒ අනුව, විපක්ෂනායකවරයා එවැනි පුද්ගලික ණය 18ක් ලබා ගෙන ඇති අතර, ඒවායින් 17ක් ම ලබා ගෙන තිබෙන්නේ ලක්ෂ්මන් ද ෆොන්සේකා නම් අයෙකුගෙන් ය.
එලෙස ලබා ගෙන ඇති ණය මුදල්වල සම්පූර්ණ එකතුව රු. ලක්ෂ 825කට වඩා වැඩි අතර, තවත් එක් ණය මුදලක් හර්බට් ජයකොඩි නැමැති අයෙකුගෙන් ලබාගෙන ඇති අතර, ඔහුගෙන් ලබා ගෙන ඇති ණය මුදල රු. ලක්ෂ 84කි.
කෙසේවෙතත් මෙම ණය සම්බන්ධයෙන් ඇතුළත් කර ඇති තොරතුරු නිරීක්ෂණය කිරීමේදී මෙම ණය මුදල් විපක්ෂනායකවරයා ලබාගෙන තිබෙන්නේ 2006 සිට 2024 දක්වා කාලයේදී බව පෙනී යයි.
මෙම සියලු ණය මුදල් නැවත ගෙවිය යුතු බවට ද සඳහන් කර ඇති අතර, මෙම කිසිදු ණය මුදලක එක් වාරිකයක්වත් තව ම ගෙවා නොමැති වීම විශේෂ කරුණකි.
මෙහි අදාළ ණය මුදල් නැවත ගෙවීමේ කොන්දේසි සම්බන්ධයෙන් සඳහනක් නොමැති නමුත්, 2006 සිට 2024 දක්වා ලබා ගෙන ඇති මෙම සියලු ණය මුදල්වල දැනට ගෙවීමට ඇති මුදල ලෙස සම්පූර්ණ ණය මුදලම සඳහන්ව ඇත.