පරිශීලක දත්ත රහස්‍යතාව පිළිබඳ 'බොරු' සම්බන්ධයෙන් Meta සමාගමට ඩොලර් බිලියන 25 ක දඩයක් නියම කෙරේ
ෆේස්බුක් පරිශීලකයන්ගේ දත්ත භාවිතා කරන ආකාරය සම්බන්ධයෙන් වසර ගණනාවක් පුරා මහජනතාව නොමග යවන සුළු අසත්‍ය තොරතුරු ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන්, මාස දෙකක නඩු විභාගයකින් අනතුරුව නිව් මෙක්සිකෝ (New Mexico) නමැති ඇමෙරිකානු ප්‍රාන්තයේ විනිසුරුවරයෙකු විසින් බදාදා දින මෙම නියෝගය නිකුත් කරන ලදී.
"මෙම අසත්‍ය තොරතුරු පවසන්නේ ෆේස්බුක් හි දත්ත භාවිතය සම්බන්ධයෙන් පමණක් නොවේ," යැයි පවසමින් විනිසුරුවරයා වැඩිදුරටත් සඳහන් කළේ එය ෆේස්බුක් හි ප්‍රධාන ව්‍යාපාරික පටිපාටියටම අදාළ කරුණක් බවයි.
නමුත් මෙටා සමාගමේ ප්‍රධාන නීතිඥ CJ Mahoney ප්‍රකාශ කළේ, මෙම තීන්දුව හේතුවෙන් නිව් මෙක්සිකෝ ප්‍රාන්තය තුළ තවදුරටත් ව්‍යාපාර කටයුතු පවත්වාගෙන යාම ඉතා අපහසු වන බවයි. මෙම තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කිරීමට සමාගම බලාපොරොත්තු වන අතර, ඉන් ජයග්‍රහණය කිරීමට හැකිවනු ඇති බව ද ඔහු සඳහන් කළේය.
මෙම වසර තුළ මෙටා සමාගමට එරෙහිව ගොනු වූ නඩු කිහිපයකින්ම දඩ නියම වූ අතර, ළමා ආරක්ෂාව සම්බන්ධයෙන් කැලිෆෝනියා ප්‍රාන්තය සමඟ එළඹි ඩොලර් බිලියන 18ක එකඟතාවද ඊට ඇතුළත් වේ.
නිව් මෙක්සිකෝ ප්‍රාන්තය මෙටා සමාගමට එරෙහිව නඩු පැවරීමට ප්‍රධාන හේතුව වූයේ, මීට පෙර ෆේස්බුක් නමින් පැවති සමයේ සිදුවූ සුප්‍රකට Cambridge Analytica අර්බුදයට එම සමාගම දැක්වූ දායකත්වයයි.
එම ආයතනය විසින් මිලියන ගණනක ෆේස්බුක් පරිශීලකයන්ගේ දත්ත දේශපාලන උපදේශන කටයුතු සඳහා යොදාගත් අතර, 2016 ඇමෙරිකානු ජනාධිපතිවරණයේදී ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා ප්‍රථම වරට ජයග්‍රහණය කිරීම සඳහාද එම දත්ත භාවිත විය.
ඊට අමතරව, ද්වේෂසහගත ප්‍රකාශ (Hate speech) අඩංගු අන්තර්ගතයන්ගෙන් සමාගම ලාභ ලබන ආකාරය සහ ඊට එරෙහි නීති ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව ද මෙටා සමාගම මහජනතාව නොමග යැවූ බවට චෝදනා එල්ල විය. ජූරි සභාව විසින් එම චෝදනාවලට ද මෙටා සමාගම වැරදිකරු ලෙස තීරණය කරන ලදී.
කෙසේ වෙතත් මෙටා සමාගම මෙම චෝදනා ප්‍රතික්ෂේප කරයි. "මෙම නඩුවේ ප්‍රධාන අරමුණ වන්නේ අන්තර්ජාලය ඔස්සේ ජනතාව අදහස් ප්‍රකාශ කිරීම පාලනය කිරීම සඳහා නව නීති පැනවීම සහ ඒ වෙනුවෙන් බද්දක් අය කිරීමයි," යැයි මෙටා හි ප්‍රධාන නීතිඥවරයා පැවසීය.
පරිශීලකයන්ගේ පෞද්ගලික දත්ත ඔවුන්ගේ අවසරයකින් තොරව කිසිදු තෙවැනි පාර්ශවයකට ලබා නොදෙන බවට මෙටා නිලධාරීන් වසර ගණනාවක් පුරා සිදුකළ ප්‍රකාශ අසත්‍ය බව පවසමින් නීතිඥයින් නඩු පවරා තිබුණි. නිව් මෙක්සිකෝ හි වෙසෙන මිලියන 2ක පමණ ජනගහනයම මෙම අසත්‍ය ප්‍රකාශ හේතුවෙන් බලපෑමට ලක්ව ඇති බවට අධිකරණයේදී කරුණු දක්වන ලදී. මෙටා සමාගම ප්‍රාන්ත නීති මිලියන 40කට වඩා වැඩි වාර ගණනක් උල්ලංඝනය කර ඇති බව ජූරි සභාව නිගමනය කළේය.
"දැවැන්ත තාක්ෂණික සමාගම් තමන්ගේ බලය සහ ප්‍රමාණය නිසා නීතියට ඉහළින් සිටින බව සිතූ කාලය දැන් අවසන්," යැයි නිව් මෙක්සිකෝ හි ඇටෝර්නි ජෙනරාල් Raúl Torrez ප්‍රකාශ කළේය.
ප්‍රාන්ත නීතිඥයින් ඩොලර් බිලියන 40ක දඩයක් ඉල්ලා සිටියද, ඩොලර් බිලියන 3.4කට වඩා වැඩි ඕනෑම දඩයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැණි බවට මෙටා සමාගම තර්ක කළේය. කෙසේ වෙතත්, විනිසුරු Francis Mathew විසින් මෙටා සමාගමේ එක් කාර්තුවක (Quarter) ලාභයට සමාන වන පරිදි ඩොලර් බිලියන 25ක දඩයක් නියම කරන ලදී.
2010 සිට 2021 දක්වා වසර 11කට වැඩි කාලයක් පුරා මෙටා සමාගම මෙම වරද හිතාමතාම සිදුකර ඇති බව විනිසුරුවරයා පෙන්වා දුන්නේය. මාක් සකර්බර්ග් (Mark Zuckerberg) ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අතර සිදුවූ සන්නිවේදනයන් මහජනතාව නොමග යැවීම සඳහාම සකස් කර තිබූ බවද නියෝගයේ සඳහන් වේ.
මෙම අධික දඩ මුදල් හමුවේ වුවද, කෘත්‍රිම බුද්ධි (AI) තරඟයේ ඉදිරියෙන්ම සිටීම සඳහා මෙටා සමාගම යටිතල පහසුකම් වෙනුවෙන් විශාල මුදලක් ආයෝජනය කරමින් සිටී.
මෙටා හි පාරිභෝගික මට්ටමේ AI මෙවලම වන Muse මේ වන විටත් මිලියන 10ක ජනතාවක් භාවිතා කරන බව මාක් සකර්බර්ග් පැවසීය. "Muse මෙවලම බිලියන ගණනක ජනතාවක් වෙත ගෙන යාම අපගේ ප්‍රධාන ඉලක්කයයි."
ඒ අනුව, මෙටා සමාගම මෙවසර තුළ AI ව්‍යාපෘති වෙනුවෙන් ඩොලර් බිලියන 135 සිට 145 දක්වා මුදලක් වියදම් කිරීමට බලාපොරොත්තු වේ. AI සඳහා කෙරෙන මෙම අධික වියදම් නිසා, සමාගම වසර 14කට පෙර කොටස් වෙළඳපොළට ඇතුළත් වූ පසු ප්‍රථම වතාවට ඩොලර් බිලියන 2කට වඩා වැඩි ඍණාත්මක මුදල් ප්‍රවාහයක් (Negative cash flow) වාර්තා කර ඇත.
කෙසේ වෙතත්, මෙටා හි ආදායම පසුගිය වසරට සාපේක්ෂව 26%කින් ඉහළ ගොස් ඩොලර් බිලියන 64.5ක් දක්වා ළඟා වී ඇති අතර, එහි ලාභය ද තෙගුණයකින් ඉහළ ගොස් ඩොලර් බිලියන 9.8ක් බවට පත්ව තිබේ. AI ආයෝජන සඳහා වැඩි මුදලක් සපයා ගැනීමේ අරමුණින් අනාගතයේදී අරමුදල් නම්‍යශීලීභාවයක් ලබා ගැනීම සඳහා නව කොටස් නිකුතුවක් (Stock split) සිදු කිරීමටද සමාගම තීරණය කර ඇත.