වන අලි – ඇතුන්ගේ ආරක්ෂාවට ඒකාබද්ධ ජාතික වැඩපිළිවෙළක්
ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තාගේ සංකල්පයකට අනුව ශ්‍රී ලංකාවේ වන අලි – ඇතුන්ගේ ආරක්ෂාව තවදුරටත් ශක්තිමත් කිරීම සහ අලි – මිනිස් ගැටුම් අවම කිරීමේ අරමුණින් ත්‍රිවිධ හමුදාවේ දායකත්වය සහිත ඒකාබද්ධ ජාතික වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන තිබෙනවා.
පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහතාගේ ප්‍රධානත්වයෙන් 2026 ඔක්තෝබර් 23 වන දින පරිසර අමාත්‍යාංශයේදී පැවැති සාකච්ඡාවේදීයි මෙම තීරණය ගෙන ඇත්තේ .ආරක්ෂක අංශ සතු මෙහෙයුම් හැකියාවන් සහ සම්පත් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන්ගේ කාර්යභාරය සමඟ ඒකාබද්ධ කරමින්, වන අලි ආරක්ෂාව සහ අලි – මිනිස් ගැටුම් අවම කිරීම සඳහා පවතින වැඩපිළිවෙළ වඩාත් කාර්යක්ෂම කිරීම මෙහි ප්‍රධාන අරමුණයි .
ඒ අනුව, ත්‍රිවිධ හමුදාව, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව, පශු වෛද්‍ය විශේෂඥයන් සහ අනෙකුත් අදාළ ආයතන අතර මෙහෙයුම් සම්බන්ධීකරණය සහ තොරතුරු හුවමාරුව විධිමත් කිරීම සඳහා යුද හමුදා මූලස්ථානයේ විශේෂ මෙහෙයුම් මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීමට ද යෝජනා කර තිබෙනවා .
වන අලි ඝාතන සහ අනෙකුත් වනජීවී අපරාධ වැළැක්වීම, නිරීක්ෂණ කටයුතු සහ තොරතුරු හුවමාරුව ශක්තිමත් කිරීම මෙන්ම අලි – මිනිස් ගැටුම් බහුල ප්‍රදේශවල ඒකාබද්ධ මෙහෙයුම් සඳහා සහාය ලබාදීම ද මෙම වැඩපිළිවෙළේ ප්රමුඛ අරමුණු අතර වනවා .
එමෙන්ම, වන අලි ආරක්ෂාව සම්බන්ධයෙන් හමුදා සාමාජිකයන් සඳහා විශේෂ පුහුණුවක් ලබාදීම සහ වනජීවී නිලධාරීන් සමඟ සමීප සහයෝගීතාවක් වර්ධනය කිරීම සඳහා ද යෝජිත වැඩපිළිවෙළ යටතේ අවධානය යොමු කර තිබෙනවා .
මෑතකදී තිරප්පනේ කැලෑ ප්‍රදේශයේදී අග්බ ඇතා සාර්ථකව සොයා ගැනීම, ත්‍රිවිධ හමුදාව සහ වනජීවී බලධාරීන් අතර පැවති ඵලදායී සහයෝගීතාවයේ කැපී පෙනෙන නිදසුනක් .
මෙම සාකච්ඡාව සඳහා පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි මහතා, යුද හමුදාපතිවරයා,ආරක්ෂක අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, ත්‍රිවිධ හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, රාජ්‍ය නිලධාරීන් සහ අනෙකුත් අදාළ පාර්ශ්වකරුවන් ද සහභාගී වී තිබෙනවා.