නවතම

ඉන්දියානු තාක්ෂණික වෘත්තිකයන්ගේ ඇමෙරිකානු පදිංචිය අවදානමක

මිලියන සංඛ්‍යාත ඉන්දියානුවන්ට තම වෘත්තීය ජීවිතයේ ඉහළම සිහිනය සැබෑ කරගැනීමට පැහැදිලි මාර්ගයක් තිබුණි - එනම් ඉංජිනේරු උපාධියක් ලබාගෙන තාක්ෂණික සේවා රැකියාවකට පිවිසීම, අනතුරුව ඇමෙරිකාවේ සේවය සඳහා පිටත්ව යාම, වීසා කාලය වරින් වර දීර්ඝ කරගනිමින් අවසානයේ එරට ස්ථිර පදිංචිය ලබා දෙන 'ග්‍රීන් කාඩ්' (Green Card) පත ලබා ගැනීමයි.

නමුත් එම යුගය නුදුරේදීම අවසන් වීමට ඉඩ තිබේ.

මෙම මස මුලදී, මයික්‍රොසොෆ්ට් (Microsoft), ඉන්දියාවේ ඉන්ෆොසිස් (Infosys), ටාටා කන්සල්ටන්සි සර්විසස් (TCS), විප්‍රෝ (Wipro) සහ HCL Technologies ඇතුළු තාක්ෂණික සමාගම් අටකට, බහුලව භාවිත වන වීසා ක්‍රමවේදයක් ඔස්සේ විදේශීය නිපුණතා සහිත ශ්‍රමිකයන් ස්ථිර පදනමින් සේවයට බඳවා ගැනීම ඇමෙරිකාව විසින් අත්හිටුවන ලදී.

ඒ අනුව Permanent Labor Certification Program (PERM) යටතේ කෙරෙන නව සහ දැනට සලකා බලමින් පවතින සියලුම අයදුම්පත් අත්හිටුවා ඇත. විශේෂඥ දැනුම සහිත රැකියා සඳහා ලබාදෙන තාවකාලික වීසා වර්ගයක් වන H-1B වීසා වැඩි වශයෙන් හිමිකර ගන්නා ඉන්දියානුවන්ට මෙය දැවැන්ත පහරකි. මන්ද ඔවුන් ඇමෙරිකාවේ සේවය කරන අතරතුර ග්‍රීන් කාඩ්පත සහ අවසානයේ පුරවැසිභාවය ලබා ගැනීමට පදනම් කරගත්තේ මෙම PERM ක්‍රියාවලියයි.

දක්ෂ විදේශීය ශ්‍රමිකයන් සඳහා වන ආගමන නීති තද කිරීමේ ට්‍රම්ප් පාලනාධිකාරියේ ප්‍රතිපත්තියට අනුකූලව මෙම පියවර ගෙන තිබේ. තාක්ෂණික සමාගම් මීට පෙර සිටම මෙවැනි තත්ත්වයන්ට හැඩගැසෙමින් සිටි බැවින්, ව්‍යාපාර කෙරෙහි සිදුවන බලපෑම අවම විය හැකි බව විශේෂඥයෝ පවසති.

ඩොලර් බිලියන 300ක වටිනාකමකින් යුත් ඉන්දියානු තාක්ෂණික කර්මාන්තයේ සංගමය වන Nasscom සඳහන් කරන්නේ, ඉන්දියානු සමාගම් H-1B වීසා මත තබන පදනම අඩු කර ඇති අතර දැනට ඇමෙරිකාවෙන්ම දේශීය ශ්‍රමිකයන් වැඩි වශයෙන් බඳවා ගන්නා බවයි.

"එම නිසා, PERM ක්‍රියාවලිය හරහා H-1B වීසා සිට ස්ථිර පදිංචියට මාරුවන සේවකයන් සංඛ්‍යාව ද සාපේක්ෂව සීමිතයි," යැයි එම සංගමය වැඩිදුරටත් පවසයි.

විප්‍රෝ (Wipro) සමාගම නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ ඇමෙරිකාවේ සිටින තම සේවක මණ්ඩලයෙන් 80%කට වඩා දේශීයව බඳවා ගත් අය බවයි. ටාටා කන්සල්ටන්සි සර්විසස් (TCS) පැවසුවේ පසුගිය වසර දෙක තුළ තම PERM අයදුම්පත් පැවතියේ තනි ඉලක්කම්වල බවයි. මයික්‍රොසොෆ්ට් සමාගම සඳහන් කළේ තමන් H-1B වීසා සඳහා අයදුම් කළේ දැනට සිටින සේවකයන් තබා ගැනීමට මිස නවකයන් ගෙන්වා ගැනීමට නොවන බවයි.

Business Standard පුවත්පතේ වාර්තාවකට අනුව, TCS සමාගමේ PERM අයදුම්පත් සංඛ්‍යාව 2025-26 වසරේදී 2 දක්වා පහත වැටී ඇති අතර, එය ඊට පෙර වසරේ 513ක් ලෙසත්, ඊට පෙර වසරේ 1,804ක් ලෙසත් පැවතුණි. 2025-26 වසර සඳහා ඉන්ෆොසිස් සහ විප්‍රෝ සමාගම් වෙනුවෙන් කිසිදු අයදුම්පතක් වාර්තා වී නොමැත.

"ඇමෙරිකාවේ වසර ගණනාවක් ගත කර ඇති නමුත් ග්‍රීන් කාඩ් අයදුම්පත එක තැන පල්වෙන විශාල පිරිසක් අප දන්නවා. ඔවුන් නැවත ඉන්දියාවට යාමට සූදානම් වුවද, ඇමෙරිකාවේ හැදී වැඩුණු ඔවුන්ගේ දරුවන් ඊට කැමති නැහැ," ඔහු පැවසීය.

මෙම නීතිමය වෙනස්කම් හමුවේ ඉන්දියානු සංක්‍රමණිකයන්ට සහ H-1B වීසා හිමියන්ට එරෙහිව අන්තර්ජාලය ඔස්සේ එල්ල වන ද්වේෂසහගත ප්‍රහාර ද ඉහළ ගොස් ඇත. Stop AAPI Hate ආයතනයට අනුව, 2024 ඇමෙරිකානු මැතිවරණයෙන් පසු දකුණු ආසියාතිකයන්ට එරෙහිව අන්තර්ජාලය ඔස්සේ කෙරෙන පහරදීම්වල සීඝ්‍ර වර්ධනයක් දක්නට ලැබේ.

මෙම සමාගම් අටට PERM තහනම පනවන අතරතුර, ඇමෙරිකානු උපජනාධිපති ජේ.ඩී. වෑන්ස් (JD Vance) විසින් H-1B වීසා හිමිකරුවන් "විදේශීය බද්දට ගත් මෙහෙකාරයන්" (foreign indentured servants) ලෙස හැඳින්වීම ද දැඩි ආන්දෝලනයකට ලක්විය. ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය මෙම ප්‍රකාශය දැඩි ලෙස හෙළා දුටුවේය.

අඩු ආදායම්ලාභී පවුල්වලින් පැමිණි බොහෝ දෙනෙකු උසස් අධ්‍යාපනය සහ රැකියා සඳහා ඇමෙරිකාවට පැමිණියේ විශාල ලෙස ණය වෙමිනි. නමුත් දැන් නීති තද වීමත් සමඟ ඔවුන්ට විකල්ප අඩුවෙමින් පවතී.

සංක්‍රමණික විශේෂඥයන් පෙන්වා දෙන්නේ ස්ථිර පදිංචිය සඳහා වන මාර්ග සීමා වීමත් සමඟ ඇතැමුන් ඇමෙරිකාවේ තම අනාගතය නැවත පරික්ෂා කර බලනු ඇති අතර, තවත් පිරිසක් ඇමෙරිකාවට පැමිණීමම අතහැර දමනු ඇති බවයි.

විශේෂ කුසලතා සහිත පුද්ගලයන්ට හෝ ජාතික උනන්දුවක් සහිත ක්ෂේත්‍රවල සේවය කරන අයට PERM ක්‍රියාවලිය මඟහැර ග්‍රීන් කාඩ් ලබාගත හැකි EB-1 හෝ EB-2 (NIW) වැනි වෙනත් මාර්ග පැවතියද, ඒවා සෑම කෙනෙකුටම සුදුසු නොවේ. එමෙන්ම ඇමෙරිකානු ඩොලර් 800,000ක් ආයෝජනය කිරීමෙන් ලබාගත හැකි EB-5 වීසා ක්‍රමය සඳහාද බොහෝ දෙනෙකුට ප්‍රමාණවත් මුදල් නොමැත.

National Foundation for American Policy (NFAP) දත්තවලට අනුව, 2025 දෙසැම්බර් වන විට ලක්ෂ 10කට ආසන්න (මිලියනයකට ආසන්න) ඉන්දියානුවන් ප්‍රමාණයක් රැකියා පදනම් කරගත් ග්‍රීන් කාඩ්පත ලබන තෙක් පෝලිමේ සිටිති. මෙය සමස්ත අයදුම්පත්වලින් 79%කි. වර්තමාන නීති අනුව, ඇතැම් කාණ්ඩ සඳහා මෙම පොරොත්තු කාලය වසර 5 සිට 179 දක්වා විය හැකි බවට පුරෝකථනය කර ඇත.

කෙසේ වෙතත්, මෙම නීතිමය තද කිරීම් හමුවේ රැකියා ඇමෙරිකානුවන්ට හිමිවීමට වඩා, අදාළ තාක්ෂණික රැකියා ඉන්දියාවටම (Offshoring) බාහිරින් ලබාදීමට (Outsource කිරීමට) සමාගම් පෙළඹෙනු ඇති බවට ද මත පළවේ.

ඇමෙරිකාවට ඉන්දියානු තාක්ෂණික දක්ෂතාවල අවශ්‍යතාවය නැති වී නැත. නමුත් වෙනස් වෙමින් පවතින්නේ එම දක්ෂතා ලබාගන්නා ආකාරයයි. ඉන්දියානු වෘත්තිකයන්ට ඇමෙරිකාව තුළ අනාගතය ගොඩනැගීමේ සිහිනය නැවත ලියාපදිංචි කිරීමට මෙය කාලය විය හැකිය.