ඥානසාර හිමිට නිදහස පතන හිමිවරු ජනපති කාර්යාලය අසළ රැය පහන් කරති.
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට වහා නිදහස ලබාදෙන ලෙස ඉල්ලා මහා සංඝරත්නයේ මූලිකත්වයෙන් ආරම්භ වූ 'සිවුරට යුක්තිය - නිදහසේ පා ගමනට' එක්වූ භික්ෂූන් වහන්සේලා ඇතුළු පිරිස අද (16) උදෑසන වනවිටත් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට මාර්ගයේ රැඳී සිටින බව අප වාර්තාකරු පවසනවා.
එමෙන්ම, තවදුරටත් ජනාධිපති කාර්යාල පරිශ්‍රය අවට විශේෂ පොලිස් ආරක්ෂාවක් යොදවා තිබෙනවා.
පාද යාත්‍රාවේ පැමිණි භික්ෂූන් වහන්සේ ජනාධිපති ලේකම්වරයා හමුවීමට අවශ්‍ය බව ප්‍රකාශ කිරීමත් සමඟ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක භික්ෂූන් වහන්සේ සිටින ස්ථානයට පැමිණ සඳහන් කළේ, තමාට මිනිත්තු 10 ක පමණ කාලයක් ලබා දෙන ලෙසයි.
කෙසේ වෙතත්, මිනිත්තු 10කට පසුව නැවතත් ජනාධිපති ලේකම්වරයා වෙනුවට වෙනත් නිලධාරියෙකු එම ස්ථානයට පැමිණීමත් සමඟ උණුසුම් තත්ත්වයක් හට ගත්තා.
අනතුරුව භික්ෂූන් වහන්සේ පූජ්‍ය ඥානසාර හිමියන්ට නිදහස ලබාදෙන ලෙස ඉල්ලා සිටි අතර, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ප්‍රභාත් චන්ද්‍රකීර්ති එම ස්ථානයට පැමිණියද විසඳුමක් නොලැබුනු බවයි මහා සංඝරත්නය ප්‍රකාශ කළේ.
ඒ අනුව, තවදුරටත් ජනාධිපති කාර්යාලය අසළම රැඳී සිටින බවයි උන්වහන්සේලා පැවසුවේ.
අනතුරුව පොලීසිය අට්ටාලය ඉවත් කරගන්න ලෙස දැනුම් දීමත් සමග උණුසුම් තත්ත්වයක්ද ඇති වුණා.
කෙසේ වෙතත් එහිදී භික්ෂූන් වහන්සේ ඇතුලු එහි සිටි පිරිස අට්ටාලය ඉවත් නොකිරීමට ඉඩ නොදීමත් සමග තත්ත්වය තවත් උණුසුම් වුණා.
පොලිසිය සඳහන් කළේ, ඉන් අනතුරුව ජනාධිපති කාර්යාලය ඉදිරිපිට රැදී සිටින භික්ෂූන් වහන්සේට සහය පළ කළ තුන්දෙනෙකු අත්අඩංගුවට ගත් බවයි.